අද කියන්න යන්නේ මාස ගනනාවක් ප්ලෑන් කරලා ගියපු පලවෙනි ගමනක් ගැන. පළවෙනියටම මේ ගැන කතා කරපු දිනය නම් හරියට මතක නෑ. කොහොමහරි 2018 නොවැම්බර් මාසේ මැදකදී තමයි මේ පාරවත් කොහොමහරි ශ්‍රී පාදේ යන්න ඕනේ කියලා හිතුනේ හැමදාම වගේ කැපිටල් වර්ක්ස් එකේ දහම් අයියත් එක්ක ලංකාවේ යන්න පුලුවන් තැන් ගැන කතා කරමින් ඉන්නකොට තමයි ශ්‍රී පාදේ යන්න ඕනේ කියලා හිතුනේ. කොහොමහරි පස් වතාවක් වගේ ශ්‍රී පාදේ වන්දනා කරන්න හිතන් හිටියට යන්න ලැබුනේ නෑ.
මේ දහම් අයියා, අඩේ මේ පාර ඔයාලා ශ්‍රී පාදේ යනකොට මාවත් එක්කරගෙන යනවකෝ. හරි හරි බන් මේ පාර යමන්කෝ.
කොහොමහරි කැපිටල්
වර්ක්ස් එකෙන් අපේ බ්‍රාන්ච් එකට ආව මම වෙනදා වගේම කිසිම වෙනසක් නැතිව
වැඩටික කරන්න පටන් ගත්තා. කොහොමහරි දින, සති ගෙවිලා ගිහින් ශ්‍රී පාදේ
කරුණා කරන වාරෙත් පටන්ගත්තා. ඔන්න ආයෙම දවසක් ඒ කියන්නේ 2018 දෙසැම්බර්
මාසේ 28 දහම් අයියා හොයාගෙන කැපිටල් වර්ක්ස් එකට ගියා. දහම් අයියා, මොකද
කියන්නේ මේ පාරවත් මාව එක්කරගෙන සිරිපා කරුණා කරන්න යනවකෝ. මගේ කියවිල්ල
අහගෙන ඉන්න බැරිම තැන දහම් අයියා
උබ කැමති දවසක් කියපන්කෝ, අපි එදාට යමු.
ඒක කියන පමාවටම කැලැන්ඩරය පෙරලන්න ගත්ත මම
මේ අපිට පෙබරවාරි 8,9 යන්න බැරිද? සිකුරාදා නිසා සෙනගත් ගොඩක් අඩුවෙයි නේ, එදාට යමු
හරි හරි මම දන්න කියන දෙතුන් දෙනෙකුත් ඉන්නවා උන් ටිකත් එකතු කරගෙනම යමු ඒ දහම් අයියා...
කොහොමහරි මිස්ට හොරෙන් ආපහු බ්‍රාන්ච් එකට රිංගපු මම, දවල් කෑම වෙලාවේදී බ්‍රාන්ච් එකේ කට්ටියට කින්ඩියට වගේ කිව්වේ
මම නම් මේපාර සිරිපා කරුණා කරනවා, එනවද අපි එක්ක යන්න
මොකද මුන්ටික මලාට හරි අපිත් එන්නම් වගේ උත්තරයක් දෙන්නේ නැතිබව දන්නා නිසයි.
අනේ අපිවත් එක්කරගෙන යනවකෝ - ඒ අංජලී
මාත් එනවා යන්න - ඒ අශාන්දි අක්කා.
මම කෝකටත් කියලා ආයේ ඇහුවේ සිරාවටමද ඔය කිව්වේ... හරි දැනට 4යි නේ ඉන්නේ, එදාම හවස 4ට වගේ භානුක, දිල්ශාන් ඩබලගෙනුත් ඇහුවේ
අපි ශ්‍රී පාදේ යනවා උබලා දෙන්නත් එනවද යන්න...
කොහොමහරි සතියක් යනකන් ගමන යන්න කැමතියි කිව්ව හතරදෙනා හැර එකෙක්වත් හොයා ගන්න බැරිවුනා. දිනය 2019 ජනවාරි මාසේ 16, ආයේ දහම් අයියා හමුවෙන්න ගියේ ගමන යන්නේ කොහොමද, අවශ්‍ය දේවල් මොනවද කියලා දැනගන්න. සංජීව අයියා සහ දහම් අයියාගෙන් ලැබුනු උපදෙස් අනුව එන්න කෝච්චිය තමයි හොදම විදිය බව තේරුම් ගත්ත මම ඉක්මනට අනධ්‍යන ආයතන අංශයේ වැඩකරන කෝසලී අක්කා හමුවෙන්න ගියා.
අක්කේ රේල් වොරන්ට් ෆෝම් 8ක් දෙනවද?
කොහොමහරි ෆෝම් 8ක් ඉල්ලගත්ත මම කැම්පස් එකේ වැඩකරන භානු, දිලා, අංජලී, ඉනීශා, දිලිනි, දහම් සෙට් එකට දුන්නේ ඉක්මනටම ෆෝම් ටික ඉල්ලගන්න ඕනෑකමින්. කොහොමහරි අන්තිමේදී දහම් අයියා, දිලිණි අක්කා, ඉනීශා අක්කා, අංජලී විතරයි යන්න කැමතිකරවා ගන්න පුලුවන් වුනේ. හැමදාම ට්‍රිප් යනවා අපිත් එක්ක තමයි ට්‍රිප් යන්න බැරි, කියමින් මැසිවිලි නගන චතුරිකා අක්කාව මතක් වුනේ ඔය වෙලාවෙදී. ඒ පමාවටම කෝල් එකක් ගත්ත මම
මේ අක්කේ අපි පෙබරවාරි 8,9 සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නවා, එනවද අපි එක්ක යන්න?
මාරයි කියන පමාවටම
අනේ යමුකෝ, මම එන්නම්. මම තව යාලුවෝ දෙන්නෙකුත් එකතු කරගෙන ආවට කමක් නැද්ද?
ගමන යන්න කට්ටිය මදිවෙලා තිබ්බ මොහොතේ ආයෙත් අහනවා යාලුවෝ එක්කරගෙන එන්නද කියලා... කොහොමහරි දැන් සිරිපා කරුණා කරන්න ඉන්නවා 8ක්, වොරන්ට් වැඩෙත් ගොඩදාගත්ත මම ජනවාරි 26 උදේම පේරාදෙණිය ස්ටේෂමට ගියේ ටිකට් ටික බුක් කරගන්න... මචන් බදුල්ල කොළඹ ටිකට් 5යි, ඒ ටිකට් 5 වොරන්ට්, තව නානුඔය කොළඹ ටිකට් 3යි ඒ ටිකට් 3 කෑෂ්. ටිකට් 8ක් යාන්තමට ශේප් කරගත්තා.
කොහොමහරි ගමන ලංවෙද්දී අපේ අක්කාගේ එක යාලුවෙක් ශ්‍රී පාදේ යන්න බෑ කිව්වා. කොහොමහරි ඒ ටිකට් එකට හරියන්න එකෙක්ව හොයන අතරතුරේදී අංජලී
මේ අපේ පොඩි මල්ලී, කාවී එයාට යන්න බැරිවෙයිද.
හරි ඒ ටිකට් එකේ වැඩේත් හරි. දැන් කොහොමහරි සිරිපා කරුණා කරන්න 8ක් ඉන්නවා.
අපි යන්න හිතාගෙන ඉන්නේ එරත්න පාරෙන්. ආපහු එන්නේ හැටන් ඒ කියන්නේ නල්ලතන්නියෙන්. අපි අඩුම 12ටවත් එරත්නෙන් නගින්න පටන් ගන්න ඕනේ, මොකද කිලෝමීටර 14ක් වගේ යන්න තියෙනවා. හැටන් පැත්තෙන් පැය 4කින් වගේ පහලට බහින්න පුලුවන් උනොත් අපිට කෝච්චිය අල්ලගන්න පුලුවන්.
ඒ අපේ නඩේ ගුරා දහම් අයියා... කොහොමහරි ගමන යන එක ගැන එක මතයක් හිටපු නැති දිල්හානි අක්කත් ගමන යනවා කියලා කිව්වේ පෙබරවාරි 6 හවස. අයියෝ පට්ට මලෙන්ම එදා හවසම කොටුව ස්ටේෂමට ගියේ නානුඔය කොළඹ ටිකට් එකක් ගන්න බලාගෙන. අයියෝ තියෙන්නේ තුන්වන පංතියේ ටිකට් විතරයි. මොනවා කරන්නද ඒ ටිකට් එක ගත්ත මම දහම් අයියට ඉතුරු සල්ලි එක්කම ටිකට් එක දුන්නේ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ 7 නිවාඩු නිසා. කොහොමහරි 8 උදේ කුරුවිට ඉන්න දිලිණි අක්කලාගේ ගෙදරට සෙට් වෙලා තමයි අපි සිරිපා කරුණාව පටන් ගන්න හිතාගෙන හිටියේ. අපි සිරිපා කරුණා කරන්න හිතන් හිටපු දවසත් උදාවුනා. මම හැර අනික් 8 දෙනා උදේ කොළඹින් බදුල්ල බලා පිටත් වෙන බස් රථයකට ගොඩවෙලා තිබුනා 7.30ට විතර. මම පාන්දර 5.40 ඇඹිලිපිටිය බස් රථයට ගොඩ වුනේ මම කලින් දවසෙ ගෙදර ගිය නිසයි. උදේ 8.30 වෙද්දි දිලිණි අක්කලාගේ ගෙදර ලගින් බස් එකෙන් බැස්ස මම, ළඟම තිබ්බ කඩේට ගියේ හිස් අතින්ම ගෙදරකට යන එක හරි නැති නිසයි. දිලිනි අක්කලාගේ ගෙදරට ගොඩවුනා විතරයි,
පුතා කාලද ඉන්නේ, පාන් තියෙනවා කමු. අනික් කට්ටිය එනකන් ඉන්න ඕනේ නෑ, ඔයා ඇති තරමක් කන්න...
ඒ දිලිණි අක්කලාගේ අම්මා. කොහොමහරි අපේ කට්ටිය එනකන් රස සබෝලයක් එක්ක පාන් පෙති 5, 6ක් කෑව මම උණු උණුවෙන්ම ප්ලේන්ටියක් බිව්වේ මුන් ටික එනකොට තව පැයක්වත් යන නිසයි. කිව්වා වගේම පැය 1 1/2 විතර පස්සේ ඔන්න කටිටිය දිලිණි අක්කා කිව්ව විදිහටම කෑම්ප් එක ඉස්සරහ බස් හෝල්ට් එකේම බැස්සා... කොහොමහරි කට්ටියව එකතුකරගෙන මම පොරසේ දිලිණි අක්කාගේ ගෙදර යන්න පිටත් වුනා. නිකන් ජෝක් එකට වගේ වැරදි පාරවල් වලින් එක්කරගෙන ගිහින් අන්තිමට මම කියන දේ මුන් ටික විශ්වාස කරන එකත් නතර කරා. ශුවර් නැතිව ගෙදර ළඟටම ආව කට්ටියට මේක තමයි දිලිණි අක්කා ඉන්න ගෙදර කියලා, තහවුරු කලේ ඉනීශා අක්කා ඒ, ශර්ලොක් හෝමස් කතා කියවා ඉගෙන ගත්ත රහස් පරීක්ෂක දැනුම උපයෝගී කරගෙනයි... කොහොමහරි පැයක් පමණ දිලිණි අක්කාගේ ගෙදර හිටපු අපි දවල්ටත් එක්කම පාන් කාලා පාරට ආවේ තව ගොඩක් දුර යන්නත් තියෙන නිසයි. රත්නපුර ඉදන් ආව බස් එකකට ගොඩවුනු අපි කුරුවිට ටවුමට බද වැස්සේම ලඟා වුනා. ටවුමේ ඉදන් එරත්න වෙනකන් බස් එකේ ගියපු අපිට වැස්ස වදයක් වෙන්න ගත්තා. එතනම තිබ්බ කඩයකට දහම් අයියයි මමයි ගියේ කුඩයක් ගෙනාවේ නැති කට්ටියට ඉටිරෙද අරන් එන්න කියලා.
කොහොමහරි ඉටිරෙදි 4ක් ගත්ත අපි දෙන්නා කට්ටිය ඉන්න තැනට ආපසු ආවේ උඩට යනවිදිහ කතා කරගන්න. වැඩි කැමත්ත අනුව ත්‍රී වීල් රථ 3කින් අඩවි කන්දට යන්න පිටත් වුනා. අඩවි කන්ද හරියේ තිබ්බ කඩේකට ගොඩවුනු අපි තව ඉටිරෙදි 5ක් ගත්තේ කුඩයක් ඉහලගෙන යනවාට වඩා ඒක ඔලුවේ දාගෙන යන එක ලේසි නිසයි. මතක විදිහට කඩේ නම “සමනල ස්ටෝර්ස්”, එරත්නෙන් ගත්ත ඉටි රෙදි ටිකත් එතන හිටපු කෙල්ලට කියලම මහගත්තා. ඒත් එක්කම තිබ්බ අඩුපාඩු ටිකත් එතැනින් ගත්තා. හරි දැන් ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ.
හිතුවට වඩා එරත්න පාර නම් පට්ට ලස්සනයි. කැලයක් මැදින් වැටිලා තියෙන්නේ. අඩි 4ක විතර පොඩි අඩි පාරක්. ගමක් මැදින් යන්නේ. ඔහොම කිලෝමීටර් 6ක් විතර ගිහින් තමයි කෑම කන්න ඕනේ කියලා මතක්වුනේ. ලගම තිබ්බ පොඩි මඩුවකට ගොඩවුනු අපි දිලිණි අක්කලගේ ගෙදරින් ඔතලා දීපු බත් ටික කන්න පටන් ගත්තා. කොහොමහරි පැය ½ විතර කෑව අපි යන්න හදනකොටම වහින්න පටන් ගත්තා. කොහොමහරි පැයක් විතර ඉටිරෙදි ටික ඔලුවේ දාගෙන හිටපු අපි අන්තිමේදී වැස්සේම උඩට යන්න තීරණය කලා. පැයක් පමණ වැස්සේම ගියපු අපිට ඔන්න ඉතින් අම්බලමක් පෙනෙන මානයට එන්න පුලුවන් වුනා. “ජම්බෝලගස යට අම්බලම” කියලා නම දාලා තිබ්බ මේ අම්බලමට ගොඩ වෙලා විනාඩි 10ක් වගේ යනකොට වැස්සත් නැවතුනා. කොහොමහරි එතන හිටපු කට්ටියගේ කෑගැසිල්ලට අපිත් අම්බලමෙන් එළියට ආවේ මොකක්ද මේ කලබලයට හේතුව හොයන්න.
අර අර කන්ද දිහා බලන්න. දිය ඇළි ටික මතුවෙලා
එතන හිටපු කෙනෙක්ගේ කෑගැසිල්ලට අපිත් ඒ පැත්තට හැරුනා. මිනිහා කිව්ව දේ හරි. දිය ඇළි 5ක් වගේ කදු මුදුනින් ගලා හැලෙනවා. මාරම ලස්සන දර්ශනයක්.
දැන්ම යන්න බැරිවෙයි මොකද ඇළපාරේ වතුර සැර වැඩියි, ටිකක් ඉඳලා බෙළිමල් වීදුරුවක් බීලම යන්න.
ඒ ජම්බෝලගසයට අම්බලමේ කඩේ කරන මාමා. කොහොම හරි ඇළ හරහා වැටිලා තිබ්බ පාරේ යන්න දැන්ම යන්නත් බැරි නිසා අපි කට්ටිය කඩේට ගොඩවුනේ බෙළිමල් බොන අදහසින්. වැස්සට තෙමී ගෙන ආපු අපට උණු උණුවේ බොන්න ලැබුණු බෙළිමල් ටික නම් අමෘතයක් වගේ. එතන ටිකක් වෙලා ගිමන් හැරපු අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තේ එතන හිටපු අනික් නඩෙත් ගමන පටන් ගත්ත නිසයි. කඩේ හිටපු මාමා කිව්ව කතාව හරි වැස්ස වෙලාවක ඇළ හරහා යනවා බොරු සැර වතුර පහරක් ගලාගෙන එන්නේ. කොහොමහරි අපි යනකොටත් වතුර පහරේ වේගය ටිකක් විතර අඩු වෙලා තිබ්බේ. එතන හිටපු සෙට් එකකට පින් සිද්දවෙන්න අපේ කට්ටිය ඇළෙන් එගොඩ කරගන්න පුලුවන් වුනා. දැන් නම් වැස්ස හොදටම අඩු වෙලා, ඒත් දැන් තමයි එපා වෙන්නේ මොකද කූඩැල්ලන් ඉන්න නිසා.ඔන්න ඉතින් දැන් තමයි තුන්වැනි ලෝක යුද්ධය පටන් ගන්නේ, අනේ මෙන්න කූඩැල්ලෙක් එල්ලිලා ඌව අයින් කරන්න කෝ…කොහොම හරි කට්ටිය කෑගැසීමෙන් වැඩක් වෙන්නේ නැතිබව දැන ගත්තාට පස්සේ තමන් ම ඌව අයින් කර ගන්න පුරුදු වුනා. කොහොම හරි කිලෝමීටර් 3ක් 4ක් ගියාට පස්සේ තමයි අම්බලමක් තියෙන්නේ. හැබැයි කිසිම මහන්සියක් නැතිව කට්ටියට උඩට යන්න පුළුවන් වුනා. කොහොම හරි රෑට කන්න හදන කොට රෑ 11ට විතර ඇති.
පොඩි හරි මහන්සි ගතියක් දැනුනත් සීත ගඟුලෙන් එගොඩ වුනා විතරයි අර මහන්සි ගතිය නැතිවෙලාම ගියා. නඩේගුරා වුන දහම් අයියා තමයි අපිව දෙහිගාලා මුහුණ සෝදවා සීත ගඟුලෙන් එගොඩ කරේ. සීත ගඟුල කිට්ටුවට එන අතරමග දිල්හානි අක්කා මොන හේතුවකට ද දන්නෑ එකපාරටම හෙන හයියෙන් හූවක් තිබ්බා මහ කැලේ මැද්දේ ඒ කෑ ගැසිල්ලට නම් දෙන්න හිතුණා කනේ පහරක්. සීත ගඟුලෙන් එගොඩ වෙලා රෑට කන්න අරන් ගියපු පානුත් එතන තිබ්බ කඩේකට ගිහින් කෑවා. ඒ කඩෙන් ම ප්ලේන්ටී බීලා විනාඩි 15ක් විතර ගිමන් හැරපු අපි ආයෙත් ගමන පටන්ගත්තේ තව කිලෝමීටර් 10ක් විතර උඩට යන්න තියෙන හින්දා. අතර මග තිබ්බ අම්බලම් වල නතර වෙමින් කොහොම හරි අපි ඉදි කටු පාන කිට්ටුවට එනකොට පාන්දර 2.30ට විතර ඇති. Sun නූල් පන්දුවක් අරන් ගියපු ඉනීශා අක්කටයි මටයි නම් එපා වුනා. ඇයි දෙවියනි මේ නූල් පන්දුව ඉවර වෙන්නේ නෑ නේ.
කට්ටිය ගේ උනන්දුව මත කැලෑ පාරේ අවසානයට එනකොට ඒ කියන්නේ එරත්න පාර සහ පලාබද්දල මාර්ග දෙක එකතුවන තැන, හැරමිටිපාන ට එනකොට පාන්දර 3.40. දැන් ඉතින් පඩි නගින්න තියෙන්නේ. මහගිරිදඹේ නගින කොට කට්ටිය කණ්ඩායම් දෙකකට බෙදුවා. මම, අශාන්දි අක්කා, අංජලී, කාවිංද සහ දිල්හානී අක්කා එක කණ්ඩායමක් විදිහටත්, දහම් අයියා, අපේ අක්කා චතුරිකා, එයාගේ යාළුවා ලක්ශානි සහ දිලිණි අක්කා අනික් කණ්ඩායමට ඇතුළත් වුනා. අපේ කණ්ඩායමේ ඉස්සෙල්ලා ගියේ අශාන්දි අක්කා
අපි පඩි දහයක් නැගලා පොඩ්ඩක් නතර වෙලා ආයේ යමු, මහන්සි ඒකයි.
ඒ අපේ කණ්ඩායමේ නායකයා. ඔහොම නැවති නැවති අපි උඩට යන කොට ඉර සේවය බලා ගන්න බැරි වුනත්, ලස්සන වටපිටාවක් නම් බලාගන්න පුලුවන් වුනා. හරියටම 6.50 අපි මලුවට එනකොට. එතන පඩිපෙලේම වාඩි වුනු අපි කට්ටිය අනික් කණ්ඩායම එනකල් බලාගෙන හිටියා. පැය ½ ක් ඇතුලත අනික් 4 දෙනාත් උඩට ආවා. විනාඩි 10ක් විතර ගිමන් හැරපු දහම් අයියා පූජා කරන්න ගෙනාව ඖෂධ වට්ටිය පිළියෙල කරන්න පටන් ගත්තා. නම් දන්නෙ වත් නැති ඖෂධ ටිකක් වට්ටියේ ලස්සනට ඇසිරුවා. කට්ටියම උඩමලුවට එකවරම යන්න හිතුවත් ඒ වැඩේ හරිගියේ නෑ, මොකද සෙනඟ අස්සේ බෑග් එල්ලගෙන යන එක අමාරු වැඩක් වුන නිසා. කොහොම හරි නඩේ ගුරා වුන දහම් අයියා, පළවෙනියට දිල්හානි අක්කා, දිලිණි අක්කා, කාවින්ද මල්ලී, චතුරිකා අක්කා, ලක්ෂාණි අක්කා යන සෙට් එක එක්කරගෙන වන්දවන්න ගියා. හරියටම පැය 1/2ක් විතර ගියා කට්ටියට පහලට එන්න. පහළ මලුවේ හිටියේ අංජලී, අශාන්දි අක්කා සහ මම විතරයි. දහම් අයියා කට්ටියත් එක්ක උඩට ගියේ අපි තුන්දෙනාට ඖෂධ වට්ටිය වගේම අනික් අයගේ බෑග් ටික බලාගන්න කියලා. ටිකකින් අංජලී ඖෂධ වට්ටිය මගේ අතට දුන්නේ
මේ මට නිදිමතක් එනවා මේ ඖෂධ වට්ටිය ගන්නවකෝ. මම දන්නෑ මේක බිම වැටුනොත් එහෙම අපරාදේ නේ. මම ආයෙත් ඕක විනාඩි 10කින් වගේ ගන්නම්.
අංජලීගේ විනාඩි 10 කියන්නේ අපේ වෙලාවෙන් විනාඩි 30ක් කියලා දැනගත්තේ එදා. හරි ඔන්න දැන් අපේ වාරේ. මම, අශාන්දි අක්කා, අංජලී, දහම් අයියා සිරිපා වන්දනා කරන්නයි යන්නේ. දහම් අයියා ඖෂධ වට්ටියත්, අංජලී එයා ගෙනාපු ඖෂධ වට්ටියත්, අශාන්දි අක්කා එයා ගෙනාපු සිවුරත්, මම ඔෆිස් එකේ කට්ටිය පූජා කරන්න දුන්න පඬුරු ටිකයි, ගෙදරින් පූජා කරන්න දුන්න පඬුරු ටිකත් අරගෙන මුන් තුන්දෙනා පස්සෙන්ම ගියා. දහම් අයියා කෝඩු කාරයන් වුන අපි තුන්දෙනාව සිරිපා ලකුණේ නළල තියලා වැන්දුවා.
කට්ටියට ඕනේ නම් ඝණ්ඨාරේ ගහන්න
ඒ දහම් අයියා.
අපි ගැහුවට කමක් නැද්ද
ඒ අශාන්දි අක්කා.
කොහොමහරි අපි හතරදෙනා ඝාණ්ඨාරේ තියෙන තැනට ගියා, ඉස්සෙල්ලාම අංජලී...." ටාංංංංංං", දෙවෙනියට අශාන්දි අක්කා " ටං" මේකිට ඒකවත් ගහන්න බෑනේ, තුන්වෙනියට මම " ටාංංංංංං", අන්තිමට දහම් අයියා නව වතාවක් ඝාණ්ඨාරේ ගැහුවට පස්සේ අපි අනික් කට්ටිය ඉන්න තැනට ආවා. දොලොස්මහේ පහන බලාගෙනම යමු කිව්ව දහම් අයියා අපි කට්ටියත් එකතුකරගෙන එතනට ගියා. පහනට කට්ටියම අරගෙන ආපු තෙල් වත්කරලා, හඳුන්කූරුත් පූජා කරලා පහලට එන්න පිටත් වුනා. දැන් පරිස්සමට පහලට බහින්න ඕනෑ. මොකද ලිස්සා වැටුනොත් ඉතින් කොන්ද කඩාගෙන තමයි ගෙදර යන්න වෙන්නේ.
හවස යන්න අපි ප්ලෑන් කරේ බදුල්ල කෝච්චියේ. ඒක 1.15 වෙද්දී හැටන් වලට එනවා, දැන් 8.45ට විතර ඇති. කොහොමත් පහලට යන්න පැය 4ක් වගේ යයි. කෝච්චියේ යන්න හිතාගෙන හිටපු බලාපොරොත්තු අතහැරලා දැම්මා. හැටන් පාරෙන් පහලට යන්න අමාරු නිසා අපි රත්නපුර පාරේ ටිකක් දුර ඇවිත් මගින් හැරිලා හැටන් පාරේ ඉදිකටුපානට සම්බන්ධ වෙන තැනට ගිහින් යන්න තමයි හිතුවේ. කට්ටිය පහලට බහින ගමන් බඩගින්නට බිස්කට් කෑවා.ටික දුරක් යන කොට මෙන්න බිස්කට් බෙදා ගෙන සෙට් එකක් එනවා. මදි පාඩුව සපුරා ගත්ත අපි හැටන් පාරට හැරෙන තැනට ආවා. ඒ පාර නම් ගන්න දෙයක් නෑ. මඩ ගොඩක් වෙලා, මොකද කලින් දවසේ හොදට වැස්සනේ. කිලෝමීටරයක් වගේ ගියාට පස්සේ තමයි ඉදිකටුපානට යා ගන්න පුලුවන් වුනේ. හරි දැන් ඉතින් පඩිපෙල්. කොච්චර හදිස්සි වුනත් කරන්න දෙයක් නෑ හෙමිහිට බහින්න තමයි තියෙන්නේ (පැය 4ක්, ඒකත් සාම විහාරය ලගට විතරයි, තව යන්නත් තියෙනවා) කට්ටිය සාම විහාරය වැද ගත්තා, එකෙක් හැර. ඒ දිල්හානී අක්කා. සෙරෙප්පු තෝරන්න මග නැවතිලා, අපි හොයනවා මේකි නෑ විනාඩි 15ක් විතර යන කොට මෙන්න ඩයල් එක සාම විහාරයේ වාහල්කඩ ලග හිටගෙන ඉන්නවා.
හරි දැන් කට්ටිය ඔක්කොම ඉන්නවා, අපි දැන් යමු ගෙවල් වලට යන්නත් ඕනෙ
ඒ මම, කොච්චර හදිස්සි කලත් කාටවත් ඉක්මනට යන්න ඕනෑ නෑ වගේ. කට්ටියට හෙමිහිට එන්න කියලා මම ඉක්මනට නල්ලතන්නිය ටවුමට ගියේ හැටන් වලට යන බස් එක කීයටද තියෙන්නේ කියලා බලා ගන්න සහ මුන් ටිකට දවල්ට කන්න අරන් දෙන්න පුළුවන් තැනක් හොයා ගන්න ඕනෑ හින්දා. පැය භාගයකට වතාවක් බස් එකක් තියෙනවා, කට්ටිය ටවුමට එන්න විනාඩි පහකට කලින් බස් එකක් පිටත් වුනා. නල්ලතන්නිය ටවුමේ තිබ්බ කෑම කඩේට දවල්ට කන්න ගියා විතරයි මෙන්න වහිනවා. කඩෙන් කාලා හවස 4ට නල්ලතන්නියෙන් හැටන් වලට එන්න පිටත්වන බස් එකට කට්ටියම තෙමීගෙනම නැග්ගා. කොහොම හරි බස් එක පැය 1 1/2ක් විතර වංගුවලින් පිරුනු පට්ට ලස්සන පාරකින් හැටන් වලට ආවා, එක පැත්තකින් මස්කෙලිය වේල්ල, තව පැත්තකින් පලාතම කොළ පාටින් පේන ලස්සන තේ වතු මැදින් තමයි ඒ පටු පාර වැටිලා තිබ්බේ.
මේ මේ පොර යන විදිහට බය හිතෙන්නේ නැද්ද හලෝ
ඒ අංජලී. හැටන් වලට කොහොම හරි 5.45 විතර වෙද්දි අපිට එන්න පුලුවන් වුනා. ඒත් කට්ටියට කොළඹ යන්න බස් නෑ. හැටන් CTB ඩිපෝවට ගියපු අපිට දැනගන්න පුලුවන් වුනේ 6ට හැටන් වලින් පිටත් වෙන බස් එක තාම හැටන් වලට ඇවිත් නෑ කියලා. ඔහොම විනාඩි 20ක් විතර ඉන්නකොට මෙන්න ආවා කඩවත ඩිපෝවට අයිති CTB බස් එකක්. කට්ටිය ඒ බස් එකට ගොඩවෙලා විනාඩි පහක් යන්නත් කලින්ම බස් එක කොළඹ බලා පිටත් වුනා. දැන් ඉතින් මටයි අශාන්දි අක්කටයි ගෙදර යන්න බස් එකක් හොයන වැඩේ. අවුලක් නැතිවම හැටන් - නුවර ප්‍රයිවට් බස් එකට අපි දෙන්නත් ගොඩවුනා. පැය 1යි විනාඩි 40ක විතර ගමනකින් පස්සේ අශාන්දි අක්කා බෝතලාපිටිය හන්දියෙන් බැස්සා. තව විනාඩි 20ක් විතර ගිහින් ඒ කියන්නේ රෑ 8.15ට වගේ අඟුණාවල හංදියෙන් බැස්ස මම අප්පච්චි එක්ක ගෙදර ගියා. පුරා දවස් දෙකක් පුරාවට ගියපු ඒ ගමන අවසන් කරන කොට පුංචි ආඩම්බරයකුත් වගේම සුන්දර මතකයන් ගොඩකුත් ජීවිතයට එකතු කරගන්න පුලුවන් වුනා. අන්තිමේදී මේක කියන්නමයි හිතාගෙන හිටියේ. ගමන පටන් ගන්නකොට පොඩි පොඩි අකරතැබ්බයන්ට මුහුණදීමට සිදුවුනත් ගමන ඉවරවෙනකන් සුපිරිම මොරාල් එකකින් ගියපු විදිහ ගැන නම් මටත් හිතාගන්න බෑ. කොහොමත් කියනවානේ සිරිපා කරුණා කරන එක හොඳට පේ වෙලා හිතේ භක්තියෙන් යන්න ඕනෑ ගමනක් කියලා.
චාරිකාවට අදාල වීඩියෝ පටය සහ චායාරූප 👇👇👇
Comments
Post a Comment