මං ගැන කතා කරන්න කලින් මේ බ්ලොගර් එක ගැන කියලා ඉන්නම්. සයික්ගේ දිනපොත එහෙමත් නැත්නම් sycdiaries කියන දේ පටන් ගන්නේ 2020 වගේ හිතුන සිතුවිල්ලකට සහ අත්හදා බැලීමකට අනුව. සාමාන්‍යයෙන් මිනිස්සු වයසට යනකොට තරුණ අවධියේදී කරපු කියපු දේවල් කිරීමට, අලුත් අලුත් දේවල් අත්හදා බැලීමට ඇති හැකියාව අඩුවෙනවා කියන එක අපි හැමෝම දන්න කාරණයක් නේ. ඉතින් වයසට ගිහින් ගමනක් බිමනක් යාමට නොහැකිව එක්තැන්වෙලා ඉන්න වුන කාලෙක අතීතයේ කල කී දෑ නැවත ආවර්ජනය කර ගැනීම උදෙසා වර්තමානයේ කරන ආයෝජනයක් විදිහට මෙය මම හදුන්වන්නම්.
මම ගැන කිව්වොත් මගේ නම මිරංග බණ්ඩාර, පදිංචිය පැණිදෙනිය (පේරාදෙණිය, මහනුවර). කොළඹ වැඩ කරන උදේ හවස දුම්රියේ වැඩට යන එන, කැලැන්ඩරේ රතුපාටින් නිවාඩුවක් සලකුණු වෙලා තියෙන දවසක් පේන්න බැරි ඒ දවසට කොහෙ හරි යන්න හිතෙන ට්‍රැවල් උණ තියෙන එකෙක් කියලා කිව්වොත් නිවැරදියි.
බ්ලොගර් එක කොටස් දෙකකින් සමන්විතයි.
01 - Travel Diaries - සංචාරක දිනපොත - මෙන්න මේකේ ගොඩක් දුරට ලියවෙන්නේ බයික් එකේ ගියපු, කදු නැගපු, දුම්රියේ ගියපු, කෑම්පින්ග් වල සිදුවුන අමතක නොවන අත්දැකීම්. සරලවම කිව්වොත් ගියපු ට්‍රිප් පාදක කරගෙන ලියවෙන දේවල්.
02 - Daily Diaries - දෛනික දිනපොත - මෙන්න මේකේ ගොඩක් දුරට ලියවෙන්නේ එදිනෙදා ජීවිතයේ මුහුන දෙන මතක හිටින සිදුවීම් සහ දෛනික දුම්රිය ගමනාගමනයේදී මුහුන දෙන මතක හිටින සිදුවීම් පාදක කරගෙන ලියවෙන දේවල්.
මං මේකේ ලියන්නේ මං ගියපු ගමනක අත්විදපු අත්දැකපු දේවල්. ඒ නිසා ඒ දේවල් තමන් දරණ මතයට විරුද්ධ වීමට ඉඩ තියෙනවා. හැමදේම සාපේක්‍ෂ ලෝකයක පොඩි දෙයටත් ට්‍රිගර් නොවී, කියවලා ආතල් එකක් ගන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි.
Comments
Post a Comment